මල් යහනේ තනිවම

ඇඳි ප්‍රේම සිත්තම
බොඳවී ගියා මගෙ
අහසින් කඩා හල
අකල් මහ වැස්සට

ප්‍රේම කල නෙත් යුග
පියාගෙන කුරිරු‍ ලෙස
එකම එක මොහොතකට
නොබලාවි මා දෙස

රෝස මල් සයනයක
වැතිර ඔබ තනිවම
තෙත බරිත වී මගෙ
කඳුලින් ඔබේ වත 

සියල්ල ආදරෙන්
බෙදාගත් ඔබට මට
කිමද බැරි නිදනට
එක මල් සයනයක 

නැගෙන හිරු බසිනවා
පෙණ බුබුල බිඳෙනවා
ඒත් මගෙ දෙවියනේ
මෙච්චර ඉක්මනට... 

- Hima





පන්සලේ කෝලං

කැරලි දිග කෙස් වැටිය
මුව පුරා පිරුණු රැවුලය
ඉන වට රතු රෙදි කඩය
මොණර පිළ ඔහු අතම රැඳිනිය

දෙහි ගෙඩි කපනවා
සාත්තර බලනවා
හූනියං කරනවා
වස් කවි කියනවා

සීනුව ගහනවා
හිස වටේ වැනෙනවා
බුදුන්ගේ භූමියේ
කෝලමක් නටනවා

- Hima



පියා සහ දුව

දෝණියේ නුඹට වෙන
කොළු ගැටවු නොහිටියෙ ද
හතර හය නොවැටහෙන
ගෙවලයෙක් පටලගෙන
රස්සාවකුත් නැතිලු
විභාගෙත් ඇනගෙනලු
අත පයේ වැඩක් වත්
කොරගන්න දන්නැතිලු

පියාණනි නුඹ දන්න
තරම මගෙ කුමරු ගැන
විසිඅට දිනෙන් දින
කාලයක් තුරා මට
උන ලෙඩෙත්
හොඳ කෙරුවා
හමුවෙච්ච
ටික දොහට

- Hima


ටජ්මහල්

සත් මල් පොකුරක
එක් මලක් පමණි මම
මා ඔහු ගෙන ගියේ
හිමිසඳ දිවි සමඟ

දරුවන් සිවු දසක්
වැදුව මා කුස තුලින්
අවසන බිහි උනේ
මගෙම දිවි තොර කරන්

මා මිය යනකොටම
ගත්තා ඇයව සයනයට
මා එක කුස උපන්
මගේ ම නැගෙනියව

අරුමයකි අවසනට
අහස උස මහ මැදුර
ඉදිවිය මුම්ටාස්
ආදරේ නාමයට

- Hima 




එක්‍ටැම්ගේ

මං ඉම්බ
හංස යුග
සිඹින්නට 
ඉඩ නොදී
ඉඟිමරන
සඳ රැසට
දෑතින් වසා
ළයමඩල
එක්ටැම්ගෙයි
කවුලුවෙන්
මා එන
මඟ බලන
මගේ 
ෆියෝනා
කුමරිය ~

- Hima

 

නුදුටු හිරුට පෙම් බඳිමි

දෑස් මුණ නොගැසුනේ
දෛවයේ සරදමට
පෙම් කලා මා නුඹට
මවාගත් රන් රුවට

උණූහුම් සුසුම් ඔබෙ
උරුම නැත මා ගතට
වින්දෙමි සුවය නුඹෙ
අසංවර සිහිනයක

සමාවනු කුමරුනි
මධූසමය වෙත නොඑමි
අහිමි නුඹට පෙම් කල මා
නුඹේ කඩුපුල් මනාලිය

- Hima


බෙදා හදාගන්න ජාතියක්

එක වෙරලු ගෙඩියක්
බෙදන් කෑවලු හතකට
හැම දේම බෙදාගන්න
පුරුදු කරපු උඹලම
අද මට බනිනවා
බෙදලා දුන්නම
මගේ ප්‍රේමය
හතකට
නෙමෙයි
දෙකකට

- Hima


මගේ දරු පැටවු

දවල් රැ නැතුව මං
දිය කරන් මගේ කය
වදන මගෙ දරු පැටවු
උදුර යනවා තවත් අම්මෙක්

ගෙනියන්නෙ පුදන්නලු
පිනෙන් නිවනට යන්නලු
පැටවුන්ට හරි සැලකිලිලු
මලට පූජාසනය උරුමලු

මගේ තුරුළේ වැදූ පැටවුන්
මගේ තුරුලේ පිපී හිනැහී
මගේ තරුළෙන් ගිලිහිලා
වැට‍ුනාම අපරාදෙලු

අම්මේ ඔබේ දරුවෙක්
පුදනවා ද ශාසනයට
බැරි ඔබ ඇයිද උදුරන්
යන්නේ මගේ දරුවන්

- Hima


මල් හීන

මල් මල්
හීන ලෝකෙට
පියාඹලා
යන්න හදන
අහිංසක
උඹ
කවදහරි
ඔය හීනයෙන්
බිමට බහින්නෙ

ඇවිද්ද
කකුල් දෙකටත්
විලංගු දාගෙන

- Hima


මනරම් රමනය (18+)

දඟකරන ඇඟිළි තුඩු
පිරිමි රළු පපුව මත
ඇරයුමට ඉඟි කලා
දෙතොල් පෙති සාදයට

එකිනෙක පරයන්න
පොරබදන තොල් පෙති
මත් කලා සීරුවට
ගිණියම් සුසුම් පොද

ගෙල වටේ රඟදෙන
මත් වූ ඇඟිලි තුඩු
කිටි කිටියෙ තද කරයි
එකිනෙක දෙතොල් ‍යුග

උන්මාද අතැඟිලි
රහසේම සොයා යයි
කූඩුවක සිර කෙ‍රූ
හංසයින් මුදන්නට

පියාඹයි දෝ බියෙන්
මුදාහල හංස යුග
තදකරන් රළු අතින්
පිරි මදියි සෙනෙහසින්

ඉකිබිඳින තොල් පෙති
තනි කර කුරිරු ලෙස
ලං වෙනවා සිපගන්න
හංස යුග ළය මඩල

නාස්පුඩු දැවී යන
උණුසුම් සුසුම් පොද
ගෙනයනවා ගිනියමින්
ළය මැදින් මුව තුලට

දෙතොල් පෙති වේගයෙන්
රඟදෙන උමතු ගත මත
නොසැනසී උඩු තොලින්
සොයා යයි වන මැදට

රාගයෙන් දැවි දැවී
වන මැදින් සොයා ගිය
දෙතොල් පෙති හමුවේවි
වැළඳගති උමතුවෙන්

රස නහර කිති කවන
අසම සම රති රසය
විඳිති තොල් පෙති එකට
රහසෙ මුව සඟවගෙන

මුව දෙසින් හැඬවෙන
කෙඳිරියක් ඉඟි කරයි
උමතුවෙන් හඬන ගත
ගිනි ගන්න නුදුරු බව

මොහොතකින් ලං උනා
තනිකරපු තොල් පෙති
ආයෙමත් වේගයෙන්
එකිනෙක පොරබදන්

මොළකැටි හංස යුග
තද වෙලා රළු ළයට
රිදුම් දෙන සතුට එය
විඳගනී වැළඳගෙන

යටි තොල් ගිනියමින්
දහදිය ගතට හෙළමින්
දැවෙනවා සයනයම
උන්මාද ප්‍රේමයෙන්

නැවතුනා සැණයකින්
දැත් යුග වැළඳගනිමින්
රැඟුම අවසන් කෙරිනි
හිරි වැටුණ අළුයමින්

- Hima


තනිකම වෙත ලියමි

සිත ගිලන්වි...
ඔබට තුරුල් වී....
උන් කලට තවමත්,
පෙම් කරමි රහසින්....
නැවත හමු නොවන වග,
දැනේ හදවතට මගේ....
හමුනොවේවා නැවතත්...
කිමද,
සදා හිමි ලෙස සිතුවත්,
හිමි නැත ඔබ මට....

නොලැබෙන බව දැන දැනම,
පෙම් කරමි මම එ නිසාම....
බැම්මකින් බැඳි ඇති නමුත් දැන්,,,
පෙම් කරමි තවමත් ඔබට මං.......

- සඳී - 



සරුංගලේ

සුළඟ කියාවී නුඹට
ගැලවෙන්න ඔය නූලෙන්
නිතරම පස්සට අදින

දිවුරාවී
අහස
පොළොව
රැගෙන
යන්නම්
උඩටම
අහසේ
මුදුනටම

ඒත් ඒ සුළඟම
සැඩ වෙනවා
මොහොතක
නූල නැති විගසම
රැගෙන ගොස්
අහසට
අතරමං
කරනවා
ගහක
අත්තක

- Hima


ඉකිබිඳින ලක්මව

යදිමි මා ඔබ දෙපා
තවත් ගිනියම් රුධිරය
එපා මා මත හෙලන්න
සිංහල ද
දෙමළද
මුස්ලිම්ද
දන්නෑ
දැවුනා මා එකසේ
ඒ රුධිරයේ උණුසුමට

දැවි දැවී තිස් වසක්
දින දින නොමහැරී
ඉපදුනා මා මැරෙමින්
නිවුණු ඒ ගින්දර
නැවත අවුලා
සතුටු වන්නට
අඟුරු ගිනියම් කරන
කිසිවෙකුට
නොදෙනු මැන
මා යලි දවන්නට

- Hima

ජීවිතය

සතුටකි...
දුකකි....
විඳවනා සැපයකි....
පැතුම් පිරි හැගුම්...
දුකින් පිරි සිතුම්....
හදවතේ පොදි බැදන්
ලෞකිකත්වය හඹා යන,
රුවල් බැඳි නැවකි...

සිහින වෙත,
විටෙක ඉන් ඉවතට
රැගෙන යන...
කෙදින හෝ...
භුතලය සිපලන,
තණ අග රැදි පිණි බිඳුවකි,
ඔබ........

~සඳි~








ඔක්තෝබර් 1

පොළොවේ ගසා
පැහැ‍රගෙන
දූෂණය කර
අතවර කර
වස පොවා
කපා කොටා
ගඟට දමා
සැමරුවෙමු
අපි දින
තුන්සිය
හැට හතරක්

තවත් එක දවසක්
දාමු කානිවල්
හොයාගමු
ඒකෙනුත්
කීයක් හරි

ළමයින්ට
මොන දිනද
දෙන දෙයක් කාලා
වෙන දෙයක් බලං හිටු

- Hima


වෙලාව ඇවිත්



සමුගන්න වෙලාව
හිරු කුමරු ඇහැරිලා
නිදි කුමරි යහනින් බැස
ගියා හිරු කුමරු සොයා

සත්තයි
යන්න දෙන්නෑ
මටත් නොතිබුණා නම්
අමාවකක්

යහනේ තනිව
ඉකිබිඳින සඳ
ඔවු
ඒ මම ~

- Hima


මගේ නොවන මගේ ආදරය

තවමත් රිදුම් දෙන
තවමත් කඳුළු උනවන
මහ රෑ හීනෙන් විත්
මායාවකින් මා රවටන
මගේම නොවුනත්
අඳුරේ සොයා පියඹන

ළය මඩල පිස ආ
සුළඟ පමණක් උරුම වු

මගේ නොවන
මගේම ආදරයක්
මටත් තිබුණා

නෑ
තාමත් තියෙනවා

- Hima


සීදේවී මුණ



ශල්ලි යෙපා නෝනා
යෙන්ඩ ශාස්තරයක් අහන්ඩ

ශීදේවී මූණ නෝනා
කොච්චර කළත්
නෑ නේද හොඳක්
තියෙනවා නෝනට
මළගිය බැල්මක්

බලමුද නිමිත්තක්
ඇන්නා වගේ කිරි ගහට
කියන්නම් හරියටම
දිගැරුනා පුස්කොළ පොතක්
නෝනා ඔය පිටුවෙ
යටම ඇති ගාන
තියන්ඩ බලන්ඩ
දෙයියනේ කියලා

හත් ඉලව්වයි
රුපියල් 500ක්

පරක්කු උනා
අපි එන ගමන්
එන්නම්

යන්නම්...
- Hima


සටන

කොට්ටය බදාගෙන
යටිතොල සපාගෙන
වේදනාවෙන් කෙඳිරිගාගෙන
නොනැවතී කළ
සොඳුරු යුද්ධය
තොල් පෙති සිපගෙන
ගලා ගිය දහරින්
නිසලව නිමා විය...

සටන ඉවයි!

හෝව් හෝව්
ඉවර නෑ
මේ
සටන් විරාමය...

- Hima


ලේ පිපාසය



උරහිසට තුරුළුව
මූනට එබී උන්
ඔය දෑස් කියු කතාව
කියෙවුවා මම
සීරුවට

නොඉඳුල් නොවූ
ඔබේ ලැම යට
ගැහෙන හදවත
දුටුවා මා ළඟ

ලේපිපාසිත නැයින්ගේ
කුලී සුදු පිරුවට කෑගසාවී
ඉල්ලා ඔබේ රුධිරය
ඕනෙම නම්
හෙළමු අපි රුධිරය
යහනම තෙමෙන්නට
ආදරේ නාමයෙන්
හදවත් සිදුරුකොට

- Hima


ඇය ෆාතිමා



අයියලා මල්ලිලා
ගියා සුදු ඇඳගෙන
හැමදාම මම හිටියේ
හැංගිලා කුස්සියේ
ඒකලු දේව කැමැත්ත
යෝනියක් උරුම මට
පෑන පොත ඇකැපලු

කසාදෙන් පස්සෙ
දැන් ටිකක් හොඳයි මට
එදා මෙන් නොවෙයි
මල් පොකුරක පිපුන
එක මලක් වගේ උනත්
මමත් දැන් යනවා එලියට
සතියකට දෙකකට පාරක්
ඉස්පිරිතාලෙ 'ක්ලීනික්' එකට

ඒ යන අතරමඟ
දකිනකොට කිරිලියන්
නිදහසේ පියඹන
මුව වැසූ රෙදිකඩ
තෙමෙනවා අනන්තවාරයක්

උණුම උණු කඳුලු කැට
දෑසින් ගිලිහිලා
දෙකම්මුල් අතරින්
ගෙල දිගේ වෑහිලා
උරාගෙන රෙදිකඩට
එහෙම්මම වියලෙනවා

සායනයෙන් සයනයට
සයනයෙන් සායනයට
දරු පැටවු පෝලිමට
පඩි පෙළක් වගේ දැන්

කමක් නෑ ‍‍මොන දුකත්
ඉවසනවා මැරෙනකල්
මහාකාරුණිකයන්
ගන්නවලු
මාවත්
දේව ලෝකෙට
දෙව් සුව දෙන්න

- Hima


සඳ රාහු ගිල්ල සඳ



එදා වන වන
පා‍රේ ගිය
කෙස් වැටිය
වහලා දැම්මේ
කවුද කියපන්
අයියේ කියා
එදා හිනැහුණු
සුදුම සුදු දත් ටික
වහලා දැම්මේ
කවුද කියපන්
කළුම කළු ගෝනියක
උඹව හිරකාරියක් කර
සතුටු වෙන්නේ
කවුද කියපන්

එදා උඹ හිනැහුණා
මගේ සඳවතී
අද උඹ අඬනවද
උගේ ෆාතිමා

ඒකත් පේන්නෑ
ගෝනියට වැහිලා

- Hima


වඩිනු මැන නිදුකාණනේ

මවු ගුණ පිය ගුණ
කන හැටි බොන හැටි
නාන හැටි අඳින හැටි
ජාතිය රකින හැටි
මොණර කොළයෙන්
නිවන් යන හැටි
විහිළුවෙන් තහලුවෙන්
කියා හිනැහෙන
දායකයො පිනවන
කවි බණ
කාලීන බණ
ටීවී රේඩියෝ
දිවා රෑ අරක්ගෙන
බණත් එක්කම
වැඩි වෙලා දූෂණත්
හොරු ටිකත් ජඩ වැඩත්
මසට ලොල් වූ
බේබදු බොදුනුවොත්

සිහිවිය පසුව
උදේ රෑ කිවුවට
විහිළු වැදි බණ
ඇහුවෙ නැහැ නොවැ
නිවෙන බුදු බණ

- Hima


ඇයි අම්මෙ?

අැන්කර් බීපු
සමපෝෂ කාපු
DSI දාපු
මම

කතරගම ට
නවගමුව ට
බාර කරපු
මම

දේවාලෙ මතුරපු
ඇට්ලස් චූටි
පැනෙන් ලියපු
මම

කොහොමද අම්මේ
විභහගෙ ෆේල් උනේ?

- Hima


නංගිලා

අයි පෑඩ්
ගැලැක්සි
අත දරන්
ශොපිං යන
පොඩි නංගිලා
වීසි කරනවා
මොණරු හතරත
ගහෙන් කඩපුවා
වගෙ අරන්

නංගිලාටම
වාසනාවං
අම්මා අප්පා
ඉන්නකල්
'ලක්ෂ්මි'
දෙයියංගේම පිහිටයි
බාර ගන්නා
මිනිහටත්

- Hima


මිලියන හීන

කපුටෙකු ට තුවාලයි
වටකරන් රංචුවම
උන්ගේ කමට
එකාමෙන්
එකතුව
රකිනවා
උන්ගේ එකාව

ලැජ්ජයි
මගේ උන්
වට කරන්
කොටියා කන
මගේ එකාව

මානනවා කැමරා
මිලියන හීන දකිමින්

- Hima


නූතන මනමේ කුමාරි

එදා නම් හොඳ ය
ඇය සාධාරණ ය
වැදි රජුට කඩුව දී
කුමරුට කොපුව වත්
දුන්නා ය

ඒත්
මට දුන්නෙ නෑ
කොපුව තබා
අල්පෙනෙත්තක් වත්

පසෙකට වී
හුරේ දැම්මා
වැදි රජුට
නූතන මනමේ කුමාරී

- Hima



තනුව නැති පෙම් ගීය

තනුව නැති
පෙම් ගීයෙ
පද පෙළක්
ලියූ මම
ලතැවෙනවා
තවමත්
ලියන්නට
ඉතිරිය
ඉඩ නොලද
කරුමෙට

දැවෙමින්
සියොළඟම
මවනවා
සිහිනයක්

ගැයෙන ඒ පෙම් ගීය
මගේම තනුවකට...

- Hima


බලහත්කාරය

පිපෙන්න දඟලන
නෙලුම් පොහොට්ටු
බලහත්කාරෙන්
පෙති දිගෑරලා
පූජාසනේ තිබ්බට
වීරයෙක් වෙන්නෑ
උඹ කවදාවත්

පිපෙන පොහොට්ටු
පිපෙන්න දියන්
පිපෙන වෙලාවට
හැලෙන පෙති
හැලෙන්න දියන්
හැලෙන වෙලාවට
ඈතින් ඉඳගෙන
ලස්සන දැකපන්
උඹත් වෙයි වීරයෙක්
ලොකෙට නෙමෙයි
උඹේ හදවතට

- Hima


නික්ම යමි


ඔබ ඉන්න ඔහොමම
මම යන්නම් මෙතනින්
මහ රෑම තරු එළියෙන්

ඔබ මලක් කළ සිත
ආයෙමත් ගල් කරන්
බැස යන්නම්
සයනයෙන්

පහන් කණුව සේ
මඟ බලා ඉන්න
නෞකාවක්ව
මා යන මඟ

කඳුලින් උවත්
නොබලමි පසුපස
ඔබේ හදවතට
රිදුමක් වෙයි ඒ
අවසන් දසුන

පෝරකයට
දින ගණින
අපේ
අසම්මත
සිහිනය
මිය යනවා
කොහොමත්
ළඟදීම දවසක

- Hima


මිල අවසානයට සඳහන්ව ඇත

එදා මිතුරකු
සමඟ ආ ඔබ
හමු උනා මා
අඳුරු රාත්‍රියක

අඳුරු සීතල රැය
ගිනියම් කලා ඔබ
සුසුමට තුරුළුව
එළි උනේ රාත්‍රිය
මුසපත් වී මා
රාගයෙන් ඔබ සමඟ

ගත උන දින දින
ලං උනා මා ඔබට
හැම රෑම අපි
එක් උනා
සතුටක්ද
දුකක්ද
වේදනාවක්ද
කියාගන්න බැරි
හැඟීමකින්

මා ඔබ සොයා
එනවා නිරතුරුවම
කාසි පඬුරු පොදි
කොහෙන් හෝ
සොයාගෙන
ඔබ නැති මොහොත
හඬමි මා තනියම
වෙවුලමි ඉකිබිඳිමි
දරාගත නොහකිව

මොණරු නැති මේ රැය
ඔබ ගිහින් මා අතහැර
ඇයි උරුම කලේ මට
මෙවන් රුදු දවසක්

වෛර කරමි උඹට
ඇය මා එක් කළ
පාප මිත්‍රය

ඇය 'හෙරොයින්'
ඇගේ මිල ඔබේ ජීවිතයයි

- Hima


ඉරමල

ඉර හැරෙන පැත්තට
නැමෙන සූරියකාන්ත මල
පැතුවෙ නෑ
මොහොතකට
ඉර බදා
දැවෙන්නට

පැතුවෙ හිරු කිරණමයි
විකසිතව පිපෙන්නට

- Hima


සරදම

ඉරි තැළුණු මහ පොළොව
ප්‍රේමයෙන් වැළඳගෙන
සිපගන්න වැහි බිංදු
ඔච්චම් කරනවා

බලාපොරොත්තු
වියලුණු
මගේ
දෙතොලට

උඹලා බලපං
ඇය මාව
සිපගන්නවා
ඔය වගේම
ළඟදීම...

- Hima


ගොරහැඩි යථාර්තය

මල් ගියා පර වෙලා
මල් ගියා වියලිලා
ගල් නෑ මැලවිලා
ගල් නෑ සෙලවිලා

සුමුදු සුසිනිදු
සුවඳ මල් නොව
රැඳුනේ මිහිමත
දැඩිවු හැඩ නැති
ගොරහැඩි ගල්මයි

සුන්දර නොවූවත්
යතාර්ථයට
පාර විවරයි
ඉතින්
අපි
ඇවිද යමු!

- Hima