ගඩොල් කැට අතර

අබ ඇට සොයන්නට
නොවෙහෙසේ අද
කාගීල්ස් තියෙනවා
පන්සලට යනකොට

නූල් අත වසාගෙන
යන්තර දමාගෙන
දුක කියයි අම්මලා
නිසල වූ බුදුන් ළඟ...

සවන් නැත අසන්නට
දෙනෙත් නැත දකින්නට
ලවන් නැත දෙසන්නට

එනමුත්,
බුදුන් ඇත සැඟව
ඒ ගඩොල් අතරම
සෙවිය යුතු ඔබම

සූරන්න මතුපිට
අහංකාර තීන්ත.
බිඳින්න වට වූ
තණ්හාවේ බදාමය.
ගලවන්න එකිනෙක
මමත්වයේ ගඩොල් කැට.

දකින්න එහි ඇත,
බුදුන්ගේ හදවත

'නිර්වාණය'


හදවතක් සහ හදවතක්

නෙතක් නෙත් දහසක්
සිපගත්තද,

දෙතොල් සියක් දෑත්
සිපගත්තද,

හදක් සිපගන්නේ
එක් හදවතක්මැයි ~

ප්‍රේමයේ පතිවත

තරු එළිය
ඇති මට
හැදුවා
හිත මගෙ
සනස ගන්න

ඒත්,
තාමත් ඉඳහිට
දැල්වෙන
වීදි ලාම්පුව
බිඳිනවා
ප්‍රේමයේ
පතිවත
බැඳුනු
තරු එලියට

~ Hima

ඇහැරවන්න මා

සැතප හිඳිමි
නුඹ ළය මත
සොඳුරු
සිහිනයක
මා...

හැකි නම්
රැගෙන
යන්නට,

දෑස් මත
නුඹ මුව
සිත්තම් වන,
මුදු අතැඟිලි
මා හිස පිරිමදින

'සැබෑ ලොවකට'

අවසරයි නුඹට
ඇහැරවන්න මා
ඒ හීනයෙන් ~